Friday, April 21, 2023

10. ආගන්තුක කුරුල්ලා...

ආගන්තුක කුරුල්ලා - කොහෙන්දෝ ඇවිල්ලා
අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි 
බලාගෙනයි - අම්මා තාත්තා අපේ
දැන් ළඟ ළඟ එයි

උඩ කරනම් බිම් කරනම් - මට පේන්න දෝ ඔතරම්
රාග තාල ගී කිචි බිචි අහවරයක් නෑ
ඒ උනාට නුඹට මගේ ආදරයක් නෑ..

කුරුළු තරුණ පැඟිරි වියේ - ඔය දාංගළේ ඔහොමයි
ඒ උනාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං
මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්..

ගායනය: සුජාතා අත්තනායක 

නව තරුණ වියේ පසුවන්නියකගේ හැඟීම් සමුදායක් කිරිල්ලියක වෙසින් ඉදිරිපත් කරන අපූරු ගීයක් ලෙස, ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා ගීතය පෙන්වාලිය හැකිය. 

ආගන්තුක කුරුල්ලා - කොහෙන්දෝ ඇවිල්ලා
අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි 
බලාගෙනයි - අම්මා තාත්තා අපේ
දැන් ළඟ ළඟ එයි

යොවුන් කුමරියන් සිටින ගෙවල් අභියස ඔවුන් කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙනු රිසියෙන් යෞවනයෝ විවිධ දේ කරති. යෞවනියන් කාගේ කවුද යන්න ඔවුන්ට වැදගත් නොවේ. අවැසි එකම දේ ඇයගේ ආදරය යි. එමනිසා ආගන්තුක අය පවා එවැන්නියක සිටින නිවෙස් අභියස ශිල්ප දැක්වීම සුලභ ය. නිරතුරුවම ඇයව දිනාගැනීම වෙනුවෙන් කටයුතු කරයි. යොවුන් කිරිල්ලිය විසින් 'අඟර දඟර ඇයි?' යනුවෙන් ප්‍රශ්න කළ ද, ඒ සියල්ලම තමාව දිනා ගැනීමට බව දනී. ඒ නිසාම දෝ ඇය ඔහුට අවවාද කරන ආකාරයක් දිස්වේ. 'බලාගෙනයි - අම්මා තාත්තා අපේ දැන් ළඟ ළඟ එයි', යනුවෙන් ඇය පවසනුයේ ඇත්තටම ආගන්තුක කුරුල්ලා කෙරෙහි යම් ඇල්මක් ඇති නිසා දෝ යි සිතේ.

කුමරියකගේ ආදරය ඉල්ලුවද එය දුන්නා හෝ නොදුන්නා හෝ ඔහුව පාවා නොදීමට බොහෝ කුමරියන් මානුෂවාදී වේ.ඒ නිසාම දෝ 'ඔය වැඩ පෙන්නුවාට තව ටිකකින් අම්මලා එයි ඊට කලින් යනන' යනුවෙන් අවවාදාත්මක ආකාරයෙන් ප්‍රකාශනයක් ප්‍රකාශිත බව පෙනේ. ඇයට ඕනෑනම් තම දෙමාපියන්ට යොවුන් කුරුල්ලා හෙවත් ඔහුව පාවා දීමට ඕනෑ තරමින් අවස්ථාව තිබුණි. නමුත් ඇය එසේ නොකර ඔහුව දෙමව්පියන්ගෙන් මගහැරවීමට උත්සාහ කළේ,  ඇයගේ යටි සිතේ පවා ඔහු පිළිබඳ කුමක් හෝ කාරණාවක් ඇති නිසා නොවේ ද? නිතැතින්ම ඇති නිසා ය. එය ආදරය ද අනුකම්පාව ද යන්න නිසැකවම කිව නොහැකි ය. එය අවිනිශ්චිත ය.

උඩ කරනම් බිම් කරනම් - මට පේන්න දෝ ඔතරම්
රාග තාල ගී කිචි බිචි අහවරයක් නෑ
ඒ උනාට නුඹට මගේ ආදරයක් නෑ..

මෙය නූතනත්වයට ගළපන විට දී, මෙසේ දැක්විය හැකිය. නව තාරුණ්‍යයේ පසුවන කුමරුවන් බොහෝවිට තමා ආදරය බලාපොරොත්තුවෙන් සිටින කුමරියන් දිනා ගැනීමට බොහෝ දේ කරයි. ගීත ගායනා කිරීම, යතුරු පැදිය හෝ වාහනය විවිධ අයුරින් ධාවනය කරවීම, විවිධ විලාසිතාවන්ට යොමු වීම ආදිය ඊට නිදසුන් ය. ආගන්තුක කුරුල්ලාගේ ඉහත කොටසේ ඇති ක්‍රියාවන් මා ඉහත සඳහන් කළ දේම රචකයා වේගයෙන් පෙන්වීමට ගත් උත්සාහය අගය කළ යුතුම ය. කුරුල්ලා කිරිල්ලිය ඉදිරියේ ශිල්ප දැක්වුව ද, ඇයගෙන් ආදරය ඉල්ලූ වගක් කතුවරයා පවසා නැත. එය දැක්වූයේ, ඔබ ඔය කෙතරම් වැඩ පෙන්නුවත් නුඹට මගේ ආදරයක් නොමතැයි කියා ය. ඇය එසේ කියනුයේ ආදරය නිසාම දෝ යැයි විටෙක මට සිතේ.

කුරුළු තරුණ පැඟිරි වියේ - ඔය දාංගළේ ඔහොමයි
ඒ උනාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං
මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්..

මෙම කිරිල්ලිය තමන්ගේ සම වයස් අයගේ හැඟීම් මැනවින් හැඳින ගත් බුද්ධිමත් අයෙකු වන බව ගීතය අවසානයේ මෙසේ දැක්වේ. ඇය පසුවන්නේත් කෝඩු තරුණ පැඟිරි වියේම ය. නමුදු ඇයට අන් සම වයස් අයට එහා ගිය චින්තනයක් ඇති වග ගී පද රචකයා පසක් කරයි. හැදිච්චකම පිළිබඳව ද රචකයා කියන්නට උත්සාහ කරන ආකාරය ඉතාමත් යථාර්ථවාදී වේ. හැදිච්චකම යනු තරුණ වියේ හැඟීම් ඉවසා දරා එය බාහිරට නොපෙන්වා සිටීම නේද? යන පැනය මේ තුළින් ගම්‍ය නොවන්නේ ද? 

ඒ වුවත්, හැදිච්ච යැයි සැළකෙන කෙනා මා හැදිච්ච කෙනෙකු යැයි පැවසීම එතරම් ගැළපේ ද යන්න ගැටලුවකි. ආදරය එකෙණෙහි සෘජුවම නො ඉල්ලූ  කෙනෙකුට ආදරය නොදෙනවා යැයි කියන්නේ ආදරය දෙන එකම දෝ යැයි විටෙක සිතේ. මේ ආකාරයට විවිධ අර්ථ රසයන් මවමින් මෙම ගීතය මෙසේ අවසන් වේ.

මෙහි වන සංගීත රසය ද ගීතයේ අර්ථයට උපරිම සාධාරණයක් ඉටුකරන අතර සුජාතා අත්තනායක මහත්මියගේ ගායනය ද අනූපමේය වේ.


                                                                           ස්තුති...

Nethmi Mahisani ✍

09. පුර හඳ ලඟින්ම...

පුර හඳ ලඟින්ම 
කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් 
කෝ ඔබ කොහිද දුර ගියා...

මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැලි සරැලි නගා...
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා...

ලන්ඳ මත පිපී මාලති පරවෙලා ගියා
පින්න පිණි වැටී පුර හඳ බොඳෙවලා ගියා
ඔබ සෞමය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා...

ගායනය: මංගලිකා තෙන්නකෝන්
පද රචනය: දේවිකා ජයසුන්දර
සංගීතය: විමල් දයානන්ද

මංගලිකා තෙන්නකෝන් මහත්මිය ගායනා කරනු ලබන, පුර හඳ ලඟින්ම ගීතයෙහි අරුත මා මෙලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම් වෙමි. එය පෙර ආකාරයක් මෙන් නොවන අතර, පෙරට වඩා ඔබට මෙය දැනේ යැයි මට හැඟේ. ඒ අනුව එහි අරුත මෙසේ ය,  

මා සඳක්, නිකම් සඳක් නොවේ මා පුර සඳක්. මාව පුර සඳක් කළේ ඔබයි. කෙසේ නම් අමතක කරන්න ද ඒ අතීතය. ආදරය මා ඔබෙන් ඉගෙන ගත්තා ද නැතිනම් ඔබ මට ආදරය ඉගැන්නුවා ද කියා හරියටම නොතේරුණත් ඔබේ ආදරය මාව සඳක් කළ බැව් නොකියා ඉන්නේ කෙසේ ද? එනමුත් දැන් ඒ පුර සඳ අභියස කඳුලු බිඳුය. මා පෙරදි සිතුවේ, ඒ ඔබ තබා ගිය කඳුලු කියා ය. එනමුත් පසුව මට පසක් වුණේ, ඒ මමම සෙවූ කඳුළු කියා ය. වෙනදා තරු එළිය අතරින් ඔබව සොයාගැනීම හරිම පහසු ය. නමුත් අද ඒ තරු එළියටත් හොරෙන් ඔබ යන්නට ගිහින්. ළඟ පාතකට නොව. බොහොමයක් දුරට ය. ඔබ මා වෙතින් ඉවතට යන්නට ඔයහැටිම පෙළඹුණේ ඇයි? ද , මට කියන්න.

ඔබම මැවූ සඳ තනි කිරීම එතරම්ම පහසු ද? ඔබත් සමඟ ගත කළ කාලයේ දී, මම ආදරයේ සියුම්ම තැන් පවා දැනගත්තෙමි. ආදරය කියන්නේ මුලු ලෝකයක් බව කියා දුන්නේ ඔබම ය. ඔබේ ඔය ආදර කතා අහන්න මම කෙතරම් නම් ආසද? ඒ බැව් ඔබ නොදන්නවා නොවේ ද? ඔබේ මේ පුර සඳවතිය දුර ආකාසයේ ආඩම්බරව බැබලුනේ හිරු කිරණක් වූ ඔබේ ආලෝකය නිසා නොවේ ද? එයද ඔබට මා නිතරම කියූ දෙයක් නොවේ ද? 

ලන්ද දිගට ලස්සනට පිපී තිබූ මාලතී සියල්ල පරවී ගොස් ය. පිනි බිඳු ද එසේ නොවේ නම් කඳුලු බිඳු දැයි කියා තේරුමක් නැත. කෙසේ වෙතත් ඒ නිසා මේ පුර සඳ බොඳ වී ඇත. ඔබ නොමැති මේ ලොවෙහි කිසිඳු ලස්සනක් නොමැත. ඒ ඔබ තැනූ මිරිඟු ද? නැත්නම්, ඔබ නැති නිසාවෙන් ඒ සියල්ල විනාශ වී ඇත්ද? මේ කිසිවක් මට නොතේරේ. ඔබ මට විඳින්න දුන්න ඒ සෞම්‍ය ආදරය කොහි සැඟවුණි ද? මම තාමත් සොයන්නේ ඒ සඳ ය, ඉදිරියටත් මා ඒ සඳ සොයාවි. යළිත් එය දකින තුරා, අතුරක් නොමැතිවම මා ඒ සඳ සොයාවි. පුරසඳ නැවත තරු එළිය තුළින් දැකීමට මට කෙදිනක හෝ හැකි වේවි. ඒ වන තුරු මම ඒ සඳ සොයාවි.



ස්තුති...

Nethmi Mahisani ✍

08. අන්න බලන් ඉදිකඩ ළග...

අන්න බලන් ඉදිකඩ ළග 
කොක්කු රෑන වගේ ඇවිත්
පුන්චි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...

පුන්චි දුවේ නුඹ යනකොට 
සුදු පාටින් ඉස්කෝලෙට
පුන්චි මගේ අතීතයේ මං තනිවෙනවා...
ලඳු දෙනි මැද දෙවැට දිගේ 
දොළ පාරින් එතෙර වෙලා
මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...

එක පුටුවක වාඩි වෙලා 
එක පැන්සල දෙකට කඩන්
අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...
මං නොදුටුව නව ලෝකය 
කිරුලු පළන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...

ගායනය: දීපිකා ප්‍රියදර්ශනී 
ගී පද: බණ්ඩාර ඇහැලියගොඩ 
සංගීතය: රෝහණ වීරසිංහ 

පාසල් කාලයේ සැබෑ සුන්දරත්වය අපට දැනෙන්නේ පාසල් කාලයේ නිමාවත් සමඟිනි. ඒ නිමාවත් සමඟ නැවත අවුරුදු 13ක පාසල් කාලයේ සුන්දරත්වය විඳීමට, නැවත ඒ මතකයන්හි ජීවත් වීමට මේ ගීය අපව රැගෙන යයි. මවක් තම පුංචි දියණියට, සුදු ගවුමින් සැරසී පාසල් යන තම කුඩා දියණියට ඇගේ පාසල් මතකයන්හි ආවර්ජනයක් මෙසේ සනිටුහන් කරයි. ඇයව එම මතකයන් වෙත කැන්දාගෙන යෑමට ඇගේ පුංචි දියණිය සමත් වේ. 

කොක්කු රෑන සේ සුදු පාටින් පාසල් නිල ඇඳුම ඇදගෙන ඉදිකඩ ළගට වී මේ පුංචි දියණියගේ යහළුවන් ඇය එනතුරු බලා හිඳින බැව් කියයි. මේ සියල්ල දකින විට, මවටත් ඇගේ පාසල් දිවිය මතකයට නැගීම සාමාන්‍ය වේ. මේ අම්මාත් ඇය පාසල් ගිය හැටි සිහිකරන්නේ මෙසේ ය. ලඳු දෙනි මැදින්, දෙවැට දිගේ, දොළ පාරින් එතෙර වෙලා යන ආකාරයෙන් එම පැදි දක්වන විට අපටත් අපේ පාසල් කාලය සිහියට නැඟෙන්නේ නිතැතින් ය.

දැන් අපි ඒ කාලෙට මොනතරම් ආස වුවත්, අපි කාටවත් නැවත ඒ කාලෙට යාමට නොහැකි ය. එනමුත් ඒ මතකයන් ඔස්සේ අපි සැමදා සිතින් පාසල් යයි. ඒ බව මෙහි වන අම්මා පවසන්නේ, එක පැන්සල දෙකට කඩන් අකුරු කෙරුව කාලය ආයෙත් එන්නේ නෑ යනුවෙනි.

ඒත් සමඟම ඇය තම දියණියට පවසන්නේ, ''මන් නොදුටුව නව ලෝකයේ කිරුළ පළන් රැජින වෙලා පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ'' යන්නයි. පාසල් යන දරුවන් සිටිනා සෑම මවකගේම සහ පියෙකුගේම එකම පැතුම මෙය නොවේද? තම දරුවන් තමන්ගේ තත්වයට වඩා උසස් ලෙසින් ජීවත් වනවා දැකීම සියලුම දෙමව්පියන්ගේ ප්‍රාර්ථනය. මෙහි එන අම්මාත්, තමන් නොදුටු ලෝකය දැකීමට තම දියණියට ආශිර්වාද කරයි.

පාසල් කාලය අපේ දිවියට දෙවරක් නොඑන නිසා ඒ කාලයේ සුන්දරත්වය විඳිනවා සේම ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නත් අමතක නොකළ යුතුය.

එසේම, දෙවැට දිගේ - කෙත් වතු මැදින් - දොළ පාරින් එතෙර වී පාසල් යන දරුවා විඳින සුන්දරත්වය උදෑසනින් බස් රියේ සිර වී තෙරපී පාසල් යන දරුවා නම් නොවිඳී. තරඟකාරී ඉගෙනුම් ක්‍රමය පරිසර සුන්දරත්වය, ඊට ආදරය කිරීමට හුරු වීම දරුවන්ගෙන් උදුරා ගැනීමක් සිදු කරයි.

අපටත් වඩා ලස්සන සුන්දර පාසල් කාලයක් අපේ දෙමව්පියන්ට උරුම වන්නට ඇති. මොකද ඔවුන්ට මෙතරම් තරඟකාරී ඉගෙනුම් ක්‍රමයක් තුළින් අපට මෙන් කරදර නොකළ නිසාවෙනි. ඒ කෙසේ නමුත්, අපට උරුම වූ අපගේ පාසල් කාලයත් අතිශය සුන්දර නොවේ ද? 


ස්තුති...

Nethmi Mahisani ✍

Thursday, April 20, 2023

07. ඔබ මා හමුවුන මේ ඉර හඳ යට...

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පර වූ පෙම් මල...
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී...

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි...
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී...

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

බොහෝ අවස්තාවන්වල දී පිරිමින්ට කඳුල යනු මදක් දුර දෙයකි. සැබවින්ම පිරිමිට අඬන්න බැරි වෙලාවට ඔවුන් ආවේගය සිතට ගනී. ඉන් අනතුරුව තරහින් වැඩ කරයි. කඳුළු සලන්නට නොහැකි බව නිසාම ඔවුන් එසේ හැසිරෙයි.

එනමුත්, ඇහෙන් නොහඬන පිරිමි හිතෙන් නොබෝ සෙයින් හඬයි. එය සත්‍යකි. ඇතැම් විට පිරිමි යක්කු වගේ පෙනුනත් හැම යකෙක් තුළම සැඟවුණු මිනිහෙක් ජීවත්ව සිටී.

සොඳුරු මොහොතක මුණගැසුණු අය විටෙක ඈත් වේ. එනමුත් ඒ හමුවීම් අතුරෙන් විටෙක, යම්කිසිවෙකුට මින් පෙර ඇති නොවුන බැඳීමක් ඇති වුවහොත්, ඔවුන් ද අපව දාලා යනවිට ඇතිවන දුක, ඉන් අනතුරුව අපට ඇතිවන අතීතාවර්ජන සමඟ හිතට ගලා එන සංතාපය වචනවලට පරිවර්තනය කළ නොහැකි ය. එසේ නමුත් නැවතත් අවසන් වරට හෝ දැකගන්න ලැබේනම් කියා සිතුවොත්, මේ ගීතය තරම් ඒ ගැන කියන තවත් ගීයක් ඇතැයි මම නොසිතමි.

නන්දා මාලනිය එයට නව අරුතක් ගෙනෙන්නේ මෙසේ ය, 

''ආදරයේ වේදනාව හදට දැනුන යම් දවසක
හුදෙකලාව නොතැවි යළි එන්න මා සොයා...
එන්න මා සොයා...''

අවසන්වරට මෙසේ අපි අපටම සමුදෙන අවස්ථාවක, අපි අපේ මුවින් නොකීවත්, වෙන ලෝකයන්හි තනිවී ඒ ඒ ලෝකයන් තුළ කාර්යබහුල වී සිටියත් යටිසිතෙන් නැගෙන ඉල්ලීමක් පරිද්දෙන් මෙම ගී පදය නිර්මාණය වී ඇත.



ස්තුති...

Nethmi Mahisani ✍

Tuesday, April 18, 2023

06. මගෙ දුවේ ඔබ අවදියෙන් නම්...

මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්...
මේ මිහිරි දේවල් නුබටමයි
 
ඇවිදින්න යන වෙලාවයි
 
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කෙතරම් සුන්දරද
මගෙ දූත් තනියම හිනාවෙයි
 
ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
 
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි

ගායනය - කරුණාරත්ත දිවුල්ගනේ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ 

පියකු විසින් තම දියණිය වෙත කරනු ලබන ආදරණීය ආමන්ත්‍රණයක් ලෙසින් මෙම ගීතයේ අරුත් විකාශිත වේ. පියා තම දියණියට ආමන්ත්‍රණය කරන්නේ, මගෙ දුවේ ලෙසිනි. ඉන් පියා තුළ තම දියණිය කෙරෙහි පවතින්නා වූ අසීමිත සෙනෙහස ධ්වනිත වේ. කලාකරුවා වූ කලී අප සතු නිර්මාණයෙහි ලා උපන් හපන්නු ය යන්න, රත්න ශ්‍රී විජේසිංහයන්ට අතිශයින්ම උචිත ය.

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්...
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්...
මේ මිහිරි දේවල් නුබටමයි

රැයේ සොඳුරුතම මොහොතේ ඇති මිහිරියාව පියා තම දියණියට කියාදෙන්නේ අව්‍යාජ ජන කවියෙකු මෙනි. මේ මොහොතේ සේපාලිකා මල් පවා බිමට බැස ඇත. ඔවුන්ට ඇවිදයන්නට කාගෙන් නම් තහංචිද? නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාව යි මේ, යන්න වූ කලී අපූර්ව කව්‍යොක්තියකි. තාරකාවන්හි සේයාව වැව් දියට වැටී ඇත. ඒ දෙස බලන්නකුට පෙනෙන්නේ වැව් පතුලේ තාරකා ඇති බවකි. කවියා මෙය හඳුන්වන්නේ නිල් තරු කැට වැව් දියට පෙම් බැඳීමක් ලෙසයි. මෙය කෙතරම් රමණීය කාව්‍යයක් නොවන්නෙහි ද? එනයින් බැලූ කළ මෙම විශ්වය වූ කලී මනුෂ්‍යයා ලද සොඳුරතම දායාදයක් බවට කතා නැත.

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
 
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කෙතරම් සුන්දරද
මගෙ දූත් තනියම හිනාවෙයි 

යමෙකු ගණ කළුවරට පෙම් බඳියි නම් ඔහු ඉර හඳට ණයගැති විය යුතුයැයි පියා තම දියණියට පවසයි. එයින් ඔහු තම දියණියට කියන්නේ, ඉර හඳටත් මනුෂ්‍යය අපි කෘතඥ්ඥ විය යුතු බැව් නොවේද? අවසාන පැදිපේළි දෙකෙන් පියා තම දියණියට පමණක් නොව සමස්ථ දරු දැරියන්ටම වටිනා වූ ඔවදනක් ලබාදෙයි. එනම් ඔබ ලොවට ආදරේ නම් මුලු ලොවම ඔබටත් ආදරේ යන්න යි. සැබවින්ම අප ලෝකයාට පෙම් බැඳිය යුතු නොවේද? ලෝකය විනාශ කිරීමට ගිය කල්හි විනාශ වන්නේ ලෝකය පමණක් නොව. අප ද එහි කොටස්කරුවන් වන්නේ ය. එහෙයින් සොබාදහම රැකගැනීම වනාහි අප විසින් අපවම රැකගැනීමක් නොවේ ද? එස් මහින්ද හිමි, ආනන්ද රාජකරුණා කුඩා දරුවන් යොදාගනිමින් ස්වභාවධර්මයේ අගය කියාදුන්නාක් මෙන් රත්න ශ්‍රී විජේසිංහයන් ද  අපට කියාදෙන්නේ සොබාදහමේ අසිරිය යි.

ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
 
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි

මෙම ගීය හරහා සරල බස් වහක් යොදාගත්ත ද ඉන් සමාජයට දෙනු ලබන පණිවිඩය අති මහත් ය.



ස්තුති...

Nethmi Mahisani ✍

Friday, March 31, 2023

05. දවසක් පැල නැති හේනේ...

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ...
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ...

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ...
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ...

ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ...

කොළඹ අහස කළු කරගෙන
මුහුදු හුළඟ අඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ...
මං එනතුරු ඉදිකඩ ළඟ 
ඉන්නවාද අම්මේ... 

ගායනය - ගුණදාස කපුගේ 
ගී පද - රන්බණ්ඩා සෙනෙවිරත්න 
සංගීතය - ගුණදාස කපුගේ

හේනට පැලක් යනු නැතිවම බැරි දෙයකි. හේනකට පැලක් තිබිය යුතුමය. හේනකට පැලක් නොතිබුණහොත් එය කවරාකාරද? එය හරියට පියකු නොමැති නිවහනක් සේය. ඉතිං තාත්ත නැති ගෙයත් හරියට පැලක් නැති හේනක් වගේ ඒ තරම් වටින කියන දෙයකකි පැල, හේනකට. රන්බන්ඩා සෙනෙවිරත්නයන් ඒ පියකු නොමැති ගෙය පිළිබඳ ගෙනෙන අදහස මෙසේ ය.  

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ...
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ...

පියා නොමැති මේ නිවහන පැල නැති හේන ලෙස ව්‍යක්ත කර ඇත. මෙම හේනට වැටෙන අකාල මහා වැහි යනු, එම නිවසෙහි අම්මාට වෙනත් පිරිමින්ගෙන් එන අයුතු යෝජනාවන් ය. තම දරුවාට තමා නිසා නරකක් වේවි යන බියෙන් යුතුව එම එක් යෝජනාවකටවත් අම්මා කැමති නොවේ. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ට (යෝජනාවන් එවන වුන්ට) එපා වන තුරුම ඇය නිහඬව සීටී. ප්‍රශ්න සියල්ලක්ම අවසන්වන තුරු එකම මතයක සිටීමට ඇය  සිතාගනී. එය 'පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ' යනුවෙන් රන්බන්ඩා සෙනෙවිරත්නයන් සඳහන් කර තිබේ. 

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ...
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ...

මුලු නුවර නගරයම තමන්ට එරෙහි නින්දා අපහස නගන විට තමන්ගෙ බිරිඳ තමන්ව මගහැර යන්නේ, යෝධ ඇලේ ජාල කඳ ගලා බසින්නාක් මෙන් බව ගීපද රචකයා දක්වයි. යෝධ ඇල කියන්නෙම ශ්‍රී ලාංකීය වාරිමාර්ග ඉංජිනේරු විද්‍යාවේ මුදුන් මල්කඩ හා සමාන වන දෙයකි.  මෙහි ආනති සටහන් වන්නේ කන්ද පෙදෙසට කිලෝමීටර එකක් යනවිට බෑවුම අඟල් දෙකක් යන ආකාරයට යි. මෙසේ විශාල ජල කඳක් උඩට ගලා බැසීමේ සංසිද්ධිය සිතා ගැනීමටත් අපහසු දෙයි. එනමුත් ඒ සංසිද්ධිය කවි සිතට සිදු වේ. තම බිරිඳ තමන්ව දමා යාවි යැයි නොසිතන මොහොතක ඇය ඔහුව මගහැර යන්නට විය. 

කොළඹ අහස කළු කරගෙන
මුහුදු හුළඟ අඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ...
මං එනතුරු ඉදිකඩ ළඟ 
ඉන්නවාද අම්මේ... 

කොළඹ අහස කළු පැහැ ගැන්වී වැසි වසින යාමේ, මුහුද තාලයට මෙන් හෝ හෝ ගාන සද්දය ඇසෙන කල ඔහුට සිතෙන්නේ, මේ සියල්ල අතහැර දමා තම මව වෙත දිවගෙන යාමයි. ඒත් ඔහු කෙසේද තම මව වෙත දිවගෙන යන්නේ. අම්මා තමාව දමා ගොස් අවසන් නේද? ඇය මිය ගොස් අවසන් නේද? එය කෙසේ සිදු වී ඇත්දැයි සිතීමට රන්බන්ඩා සෙනෙවිරත්නයන් ඔබට අවස්ථාව ලබා දී ඇත. 



ස්තුති...

Nethmi Mahisani ✍

Wednesday, March 29, 2023

04. සුදු නෙළුම කෝ සොර බොර වැවේ...

සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා
 
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පණ්ඩිත් අමරදේව

රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත පණ්ඩිත් අමරදේවයන්ගේ හඬින් ගයන 'සුදු නෙළුම කෝ සොර බොර වැවේ' ගීතය එදා මෙදා තුර කාගේත් සවනට යොමු වූ ගීතයක් බව මාගේ හැඟීම යි. අසන්නාගේ හද ගැස්ම මොහොතකට නවතන අරුතට සාධකය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් උකහා ගන්නට විය. 

ඔබත් මමත් වෙහෙර විහාරස්ථානයක් නැමදීමට ගියහොත් අපට නිතැතින්ම ඇසෙන හඬක් වන්නේ, ''අනේ අපෙනුත් මල් ගන්නකෝ...'' යන හඬයි. බාල මහලු මේ සියල්ලන්ගේම අරමුණ වන්නේ කෙසේ හෝ මලක් විකිණීම යි. උදෑසනම දියේ කිමිද මල් නෙළාන විත් විකිණීම යන මේ රැකියාව තුළ අප කවුරුත් නොදුටු ශෝකාන්තමය දෙසක් වෙයි. එවැනි ශෝකාන්තයක නවමු අත්දැකීමක් රත්න ශ්‍රී විජේසිංහයන් සහ පණ්ඩිත් අමරදේවයන් විසින් අපට සමීප කර දී ඇත. එය මෙසේ ය.

සොර බොර වැව අසල වාසය කළ මහියංගනේ සුදු නෙළුම අද නැත. පසළොස්වක දාට මහියංගන සෑය වඳින මහ පිරිසට මල් අලෙවි කරන්නී ඇය යි. නමුත් දිනෙක මේ සොර බොර වැවට කලුවර පායා එයි. එය හිරු බැස යාමත් සමඟ වන කළුවරක් නොව. පාළුව නිසා එන්නා වූ කළුවරකි. සිහින් සිරිපොද බිම පතිත වෙයි. ඉන් වැවේ දෙවුරුද සේදෙයි. එනමුදු අද සුදු නෙළුම දක්නට නැත. ඈ විසින් නෙළු මල් මිට එහා ඉවුරට පාවී ගොසින් ය. ඇගේ දෙකොපුල් ඉවුරු සෝදා ගලන සිරිපොද යටින්, දෑස පියවුණු ඈ මෙහා ඉවුරට පාවී එන්නී ය. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද වැල මල් විකුණන තරුණියකගේ ඉරණම ගැන කඳුළු කතාවක් කියවෙන ශෝකාන්තයක් බවට පත් වන්නේ එලෙසිනි. එය අපට ශ්‍රවණය වන විට නෙතගට මනස්කාන්ත වන්නේ ය.

රත්න ශ්‍රී විජේසිංහයන් බහු අරුත් ගෙනෙන පද ලිවීමට රුසියෙකි. එබැවින් මෙවන් පද වැලක් තුළ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සඟවන පණිවුඩය සෙවීම ද එතරම් පහසු නො වේ. මුළු ගීය පුරාම රත්න ශ්‍රී විජේසිංහයන් පෙන්වන්නේ ජීවිතයේ ආටෝපයේ පුහු බව සහ අස්ථිර බවයි. අපගේ ආශාවන් මූර්තිමත් කෙරෙන මල් පොකුර සසරේ මහා වැවෙහි එහා ඉවුරට පා වන විට මරණයෙන් පසු අප මලකුණ පාවී එන්නේ මෙහා ඉවුර වෙතට යි. තදින් බදා සිටියත් මේ දේවල් එකිනෙකාගෙන් අවසන් වන බව ගීයෙන් ව්‍යංගවත් වේ. එය ජීවිතය පිළිබඳ පාඩමකි.




ස්තුති...

Nethmi Mahisani ✍                                                                                         

03. හදේ කොතැනක හෝ හිඳී ඔබ...

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රෑනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත දවා ගිය ඔබ
දවයි මා සිත
තනි වෙනා මොහොතේ

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්

පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ 
ගායනය: සුනිල් එදිරිසිංහ

කුමාරදාස සපුතන්ත්‍රීගේ පද රචනයත් රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත් හමුවේ, සුනිල් එදිරිසිංහයන් ගයන 'හදේ කොතැනක හෝ හිඳී ඔබ' ගීතය ආදරවන්තයෙකු විසින් තම ආදරවන්තියට දුරු රටක සිට සෙනෙහෙබරව දක්වන විරහාත්මක හැඟුමන් ගොන්නක එකතුවක් යැයි කීම නිවැරදි ය.   

මෙම ආදරවන්තයා තම ආදරවන්තියව බොහෝ කලෙකට පසුව දැක ඇත්තේ අහම්බෙනි. ඇයව නොදුටු මෙන් හැරී යන්නට සැරසුණත්, ඔහු නම කියා ඇයගේ ඇමතුම ඇසීමෙන් ඔහු මඳක් පසුබට වී ඇත. ඇයගේ අඬ ගැසුම ඔහුට සිහිනයකින් මෙන් ඇසී ඇත. රත් පැහැ ගැන්වූ හිරු බැස යන විටෙක, බිම් අඳුරේ වටපිටාව සැඟව යන්නාක් මෙන් ඔහුව අඳුරේ හොවා ඇය ඉවත්ව ගිය අයුරු ඔහු සිත නිතරම පසාරු කරයි. ඉන් හෙම්බත් වූ සිත සිය වරක් ඉකි ගසා හඬන්නට ඇත්තේ, ඔහු කාත් කවුරුත් නැති දුරු රටක තනි වූ මොහොතේ දී ය. ඇයගේ හදවත කොණෙහි තවමත් ඔහු සැඟව ඇත්දැයි ඔහුට වැටහුණි. ඔහු සිතුවේ ඇය ගැන වූ ප්‍රේමණීය හැඟුම් මිය යන්නට ඇතැයි කියාය. එනමුත් එම හැඟුම් සෙවනැල්ලකටත් එහාට ගමන් කර නැත. නින්දෙන් නොනින්දෙන් සිටි එම හැඟුම් ඇයගේ මඳහස් නැමැති රැසින් පිබිදී, මෙතෙක් කල් ඔහු ගෙවූ සුව දැහැනින් ඔහුව මුදවන්නට විය. එනමුත්, ඇය නැවත වෙන්වී යනු ඇතැයි ඔහු කියයි. 

මේ මිනිත්තු කීපයෙන් පසුව එළඹ ඇත්තේ දිගු නිහැඬියාව - අඳුර - පාළුව සහ හිස්කම පමණෙකි. ඇයට පිදූ ඒ උතුම් පෙම පිළිගෙන, ඔහුත් ඇයත් එක්ව පැතූ ඒ සුවහසක් පැතුම් නාමයෙන් ඇය වෙන්ව යා යුතු බව ඔහු කියයි. ඔහුගේ නෙතෙහි තම ආදරවන්තිය වෙනුවෙන් නැඟුනු කඳුලැලි වි‍යළී යන්නට මත්තෙන් ඔහුගේ මතකයෙන් මැකී යන ලෙසට ඇයට ඔහු ආයාචනය කරයි. අඳුරට - පාළුවට - තනිකමට සහ නිහඬතාවයට ඔහුට තම හද අරක්ගෙන සිටීමට එවිට හැකි වේයැයි ඔහුගේ අදහසයි.

සුනිල් එදිරිසිංහයන් විසින් ගයන්නට යෙදුණු විරහවේ වේදනාව සිතට කාවදින අයුරින් ගෙන ඒමට කුමාරදාස සපුතන්ත්‍රීන් විසින් යෙදූ වචන ඉතා පරිස්සම් සහගතය. ව්‍යංග ය. අර්ථ පූර්ණ ය. මෙහි එන භාවය එතරම්ම ශක්තිමත් ය. එක් සිද්ධියක් පාදක කොට සිතුවිලි සමුදායක් එක පිට එක නැග ගීයට නැඟීම ඉතාම අලංකාර ය. ගීය පුරාම වැගිරෙන්නේ අවිනිශ්චිතභාවය යි. ඇගේ මතකයන් ඇත්තේ හදේ කොතැනකද යන්න ඔහු නොදනියි. ඇගේ සිතිවිලි අවදි වන්නේ කවදා ද යන්න ඔහු කල්යල් බලයි. ඒ සියල්ල අවදි වන්නේ ද ඔහුගේ තනිකම ඔහුව තනිකරනා මොහොතේ දී ය. ඔහුගේ මෙම තනිවීම හුදෙකලාව පමණක්ම නොවන අතර එය විටෙක වන ඔහුගේ ආලයේ හැඟුම් උඩුදුවන දුර්වල අවස්ථාවක් යැයි සිහියට ගත හැකිය. 

ප්‍රේමය නැමැති විරහවෙන් තැවුණු, කිසි මොහොතක අමතක කළ නොහෙන පෙමක් ඇති සියල්ලන්ගේම හද පෙළන හැඟුම්, පපුව පළා ලොවට පෙන්වන්නට ලියැවුණු මේ ගීය පන්හිඳෙන් ඔබට තිළිණ කරමි.




ස්තුති... 

Nethmi Mahisani ✍

Tuesday, March 28, 2023

02. සීතල දිය පිරි සුනිල විලයි...

සීතල දිය පිරි සුනිල විලයි... 
ඒ විල මැද ඔබ සුවඳ මලයි... 
ගිමන් නිවාලන සුළං රැලක් වී 
ඔබේ සිනා මට පවන් සලයි...

අසරණ වී මා ජීවිත කතරේ... 
අන්ධකාරයේ සැරිසැරුවා 
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්... 
උදාවෙලා මට අත වැනුවා

දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ... 
ඔබේ හදින් මා දෙස බැලුවා 
දෑසට නොපෙනෙන මා හද පතුලේ...  
සුන්දරතාවය ඔබ දුටුවා

ඔබේ කුසුම් ඔබ දෝතින් අරගෙන...   

ආදරයෙන් මා වෙත පිදුවා  
ඒ මොහොතෙම තව සිය දහසක් මල්...  
මා වටකර හැමතැනම පිපුණා 

ගී පද - මහගම සේකර
ගී තනුව - රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ

මහගම සේකරයන් විසින් රචිත රෝහණ වීරසිංහයන්ගේ ගී තනුවකට අනුව සුනිල් එදිරිසිංහයන් ගායනා කළ සීතල දිය පිරි සුනිල විලයි 'දෑස නිසා' නම් චිත්‍රපටය සඳහා නිර්මාණය විය. සම්පූර්ණ චිත්‍රපටයම මෙම ගීතය තුළට ගෙන ඒමට තරම් සේකරයන් හසලයෙකු විය. ගීතය අසන්නාට එකවර ශ්‍රවණය වන අදහසකට එහා ගිය අලුත් ව්‍යංගයක් ලබාදීමට මෙම ගී පදයට හැකි විය. එය මෙසේ ය.

මිනිසුන් එකිනෙකා මිනිසුන්ව හඳුනාගත යුත්තේ එක් එක් මිනුම් දඬුවලින් නොව. හදවතිනි. එය ආදරයේ දී විශේෂ ය. ඒ නැතත් මිනිසුන් විසින් මිනිසුන්ව හදවතින්ම දකිනවා නම් බාහිර රූපය එතරම් වැදගත් දෙයක් නො වේ. සැබවින්ම එය එසේ වූවා නම් මේ ලෝකය කෙතරම් ලස්සන වේවි ද? කෙනෙක් තම ආදරවන්තියව මෙසේ දකිනවා නම්, ඇයව මේ ආකාරයෙන් දැනෙනවා නම් ආදරය කරන අයගේ නෙතුකැන් උණු කඳුළින් තෙත්වනවාට වඩා හැමදාමත් නොසිඳෙන සතුටු කඳුළින් තෙත් වේ.  

සීතල දිය පිරි සුනිල විලයි... 
ඒ විල මැද ඔබ සුවඳ මලයි...
ගිමන් නිවාලන සුළං රැලක් වී 
ඔබේ සිනා මට පවන් සලයි...

නිල්වන් සීත ජලාසයක තනිව පිපෙන මලක හෝඩුවා රැසක් අනෙකාගේ සවනෙහි රැඳවීමට - කීමට සිටින එකම කෙනා සුළඟ යි. ඒ සුළග මඟින් ගෙනෙන මල් සුවඳ හාත්පස පරිසරය විචිත්‍රවත් කරයි. පරිසරයට නව අරුතක් ගෙනෙයි. එසේම එක් ආදරවන්තයෙක් දක්වන්නේ, ඔහුගේ ආදරවන්තිය නිසා ඔහුගේ සතුට උපදින බවයි. ඔහු තනිව සිටින හැම මොහොතෙම - ඔහුට ගිමන් දැනෙන හැම මොහොතෙම ගිමන් නිවන සුළං රැලක් සේ ඔහුගේ මුවගට සිනාවක් ගෙනෙන්නේ ඒ ආදරවන්තියගේ සිනහව බව ඔහු පවසයි. ඔහුගේ සියලු විඩාවට සිනහව ඔහුගේ ආදරවන්තිය යි. 

අසරණ වී මා ජීවිත කතරේ... 
අන්ධකාරයේ සැරිසැරුවා 
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්... 
උදාවෙලා මට අත වැනුවා

ඇතැම් ප්‍රශ්න හමුවේ අප අපෙන් ඈතට ගොස් ඇති බව අපටම හැඟේ. අප ජීවිතය අපගෙන් මිදී ඇති බව දැනේ.  අතොරක් තෙරක් නොමැති කතරක තනි වී ඇතැයි දැනේ. එවැනි මොහොතක එම කතරට වහින වැස්සක් මෙන් කෙනෙක් අහඹු ලෙසින් අප ජීවිතයට පැමිණියහොත් - අපට නව ජීවයක් ලබා දුන්නොත් - එය කෙතරම් නැවුම් වේ ද? හෙටක් ගැන සිහින දැකීමක් ඒ තුළ ගැබ් වේ. එය කෙතරම් සාධාරණ ද? තමන්ට කුමන ප්‍රශ්නයක් - දුකක් පැමිණියහොත් එය නිවාලන්නට සිටින්නේ තම ආදරවන්තිය බව නිතැතින්ම මේ ආදරවන්තයා කියයි. ඔහුගේ අන්ධකාරයට එළිය ඇය යි. 

දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ... 
ඔබේ හදින් මා දෙස බැලුවා 
දෑසට නොපෙනෙන මා හද පතුලේ...  
සුන්දරතාවය ඔබ දුටුවා

තමන් යම් ප්‍රශ්නයක සිටිනවිට තමන්ට වට පිටාවේ තිබෙන සියල්ලක්ම ඝන අඳුරකි. ඒ මොහොතේ කිසිවක් දෙස බැලීම යම් අසීරුතාවක් ළඟාකර දේ. මෙහි ආදරවන්තයාට ද එසේ ය. නමුත් ඔහුගේ ප්‍රකාශනයට අනුව තම ආදරවන්තියට මොහු දෙස බැලීම තුළින් ඒ ගැටලුව දැකීමේ හැකියාව ඇත. විසඳාලිය නොහැකි ප්‍රශ්නයක අග-මුල සොයා ගැනීමටවත් බැරුව සිටින ඔහුට තම ආදරවන්තියගේ ආදරය නැමැති සෙනෙහස මතින් ගැටළු සියයක් වුවත් නිරාකරණය කර ගැනීමේ හැකියාව ඇති බව ඔහු කියයි. ඔහු තමන්ගේ හද තුළින් නොදකින දේ ඇය ඇයගේ නෙත් හරහා ඔහුගේ හදවතින් දකින බව ඔහු කියයි. මෙසේ තම සුන්දරත්වය තමා තුළින් නොදකින ඔහු වෙතින් ඇය ඔහුගේ සුන්දරත්වය දකින බව ඔහු කියයි. ඔහු ඇයටත් ඇය ඔහුටත් දක්වන ආදරය සෙනෙහස 'දෑසට නොපෙනෙන මා හද පතුලේ - සුන්දරතාවය ඔබ දුටුවා' යනුවෙන් සේකරයන් ව්‍යංග කර දක්වන්නට විය.

ඔබේ කුසුම් ඔබ දෝතින් අරගෙන...   
ආදරයෙන් මා වෙත පිදුවා  
ඒ මොහොතෙම තව සිය දහසක් මල්...  
මා වටකර හැමතැනම පිපුණා 

තමන් බොහෝ සෙයින් ආදරය කළ කෙනා තමන්ට ද ආදරය ප්‍රකාශ කළහොත් - ඇයගේ ආදරය පිදුවොත් එය කෙතරම් සතුටක් ද? බලාපොරොත්තු පොදි බඳිමින් සිහින දකිමින් හෙටක් ගැන සිහින මැවූ සියල්ල එක් ප්‍රකාශයක් මත කෙතරම් අපූර්ව වේවි ද? ඒ හැඟීම ගෙතීමට වදන් නැත. සේකරයන් ඒ හැඟීම පදයට පෙරළා ඇත්තේ ආදරය යන එක මලක් ඇය විසින් ඔහු වෙත පුද දුන් විට, ඒ මොහොතේම තව සිය දහස් ගණනින් ඔහු වටා මල් පිපුණු බවටයි.  

සෑම අතින්ම ඔහු ඇයටත් ඇය ඔහුටත් දක්වන ආදරය කවියෙන් ගම්‍ය කරන අතර ඔහුගේ ආදරයට නොදෙවෙනි පුදුමාකාර සෙනෙහසක් ඇය තුළින් ජනනය වන බව ඔහුම කියයි.




ස්තුති... 


Nethmi Mahisani ✍

01. අඳුර වැටී එයි...

අඳුර වැටී එයි වේදිකාව මත
දුම්රිය ඇවිදින් කතා කරන සඳ...
ගොළු වත සඟවා කතා කරමු අපි
නෙතුපිය පටලා බලා හිඳිමු අපි...

බලා ඉන්න බෑ දෙනුවන් රතු වී
සිතා ඉන්න බෑ දුම්රිය පැමිණි...
පමා වෙන්න බෑ ගෙදරින් පැමිණි 
ළංව ඉන්න බෑ මිනිසුන් හමු වී...
 
අඳුර වැටී එයි වේදිකාව මත
දුම්රිය ඇවිදින් කතා කරන සඳ...
ගොළු වත සඟවා කතා කරමු අපි
නෙතුපිය පටලා බලා හිඳිමු අපි...
 
නින්ද නොයන රෑ පිණි වැටෙනා සඳ
වැස්සෙ තෙමි තෙමි ගිය හැටි මතකද...
නැවතත් ආයේ වැස්සේ යන්නට
වැස්සක් එනතුරු බලා හිඳිමු අපි...

ගායනය - ගුණදාස කපුගේ සහ මාලනි බුලත්සිංහල 

ගුණදාස කපුගේ මහතා සහ මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනය කරනු ලබන ''අඳුර වැටි එයි'' ගීතය රස විඳින විට එය පෙම් ගීයක් බව වැටහුණත් එය එසේ නොවන්නේ ය. දෙදෙනකු අතර වන ආදරයක බිඳී යාමත් නැවත එය පණ ගැන්වීමටත් දරන උත්සාහයක් මෙම කවි පෙළෙන් ව්‍යංගවත්වේ. 

පළමු සිව් ගී පැදිය ගෙනෙන්නේ මෙවැනි අරුතකි. මෙය රසිකයා මනස්කාන්ත කරගත යුත්තකි. අහස තද රතු පැහැය ගන්නා විට පරිසරයට වැටෙන අඳුර මත බිහිවන්නාවූ සවස් කාලයේ දුම්රිය නලා වාදනයත් සමඟම වේදිකාව මතට පැමිණේ. ''දුම්රිය ඇවිදින් කතාකරන සඳ'' යන්නෙන් හඟවන්නේ එයයි. තමන් සමඟ අමනාප වූ තම පෙම්වතියත් තමාට නුදුරින් හිඳගෙන ය. දෙදෙනා හට කතා කිරීමට අවස්ථාවක් ලැබෙන තුරු ඔවුන් තම නෙත් ප්‍රේමාන්විත ගමනක යොදවයි. නෙත් කථිකයෙන් පෙම්වතිය එක් අතකින් කතා කිරීමට රුචි බව පෙම්වතාට දක්වන විට පෙම්වතා ද ඊට කැමති බව දක්වයි. පෙම්වතිය පළමු කතාබහට එළඹීමට අකමැති බවක් දක්වන නිසාම දෙදෙනාගේ අමනාපයට හේතුව පෙම්වතාගේ වරදක් බව ව්‍යංග වේ. 

දෙවන ගී රැසිය ගෙනෙන්නේ මෙවැනි අරුතකි. මෙම තීරණාත්මක අවස්ථාවේ ඔවුන් සමීප නොවුණහොත් යළි කවරදා ද ඔවුන් හමුවන්නේ යන්න දන්නේ නැත. මේ නිසාම පෙම්වතිය තම පෙම්වතාව තම ඇසුරට ගැනීමට කෙතරම් දේ කළත් එය ඵල විරහිත වේ. ''බලා ඉන්න බෑ දෙනුවන් රතු වී'' යන්නෙන් ඇයගේ එම උත්සාහය අරුත් ගැන්වේ. ඇය එතරම් ඔහු දෙස බලයි. සිත සිතා ඉන්නට අමාරු බවත් දුම්රියේ පැමිණීමත් ඇගේ දෙනුවන් රත් පැහැ වී ඇති බවත්, ඇය නිවසේ සිට පැමිණි නිසා පමා වී නැවත යාමට නොහැකි බවත්, ඇයට ඔහු අසළට පැමිණීමට සිත කීවත් එය එසේ වුවහොත් දකින අය කුමක් සිතයිද යන්නත් ඇයගේ යටි සිත පුන පුනා කියන බව ඉතිරි පදයන්ගෙන් කියැවේ. පෙම්වතාගේ නිහැඬියාව පෙම්වතියගේ කඳුළට ඇරයුම් කරන්නාක් මෙන් දක්වයි. 

පෙම්වතියගේ ආයාචනය පෙම්වතාට තේරීපත්වන විට, කුමක් ද ඇයත් සමඟ කතාකරනේ යන්න ඔහුට පැනයක් විය. ඒත් සමඟ ඔහුගේ මතකයට ආ සොඳුරු සිතුවම ඒ මොහොතට ගැළපේ ද යන්නවත් ඔහුට නොතේරුම් විය. ඊට හේතුව දුම්රිය පිටවීමට කාලය එළඹි හෙයිනි. මෙම අවස්ථාව ''නින්ද නොයන රෑ පිනි වැටෙනා සඳ''  ගීයෙන් අරුත් ගැන්වේ. 'නින්ද නොගිය පිනි බිඳු වැටෙන රැයක කුඩයක් නැතිව වැස්සේ තෙමිගෙන ගියා ඔයාට මතක ද?' යන්න ඔහු අසයි. නින්ද නොයන රැයක යන්නෙන් හඟවන්නේ ඔවුන්ගේ විරසක බවට පෙර වූ පෙම් කාලය යි. 

පෙම්වතාගේ පැනය අවස්ථාවට උචිත නොවුණත් පෙම්වතියගේ උත්සාහය සාර්ථක ය. ඔහුගේ පැනයට ඇයගේ පිළිතුර, නැවත ඔවුන්ගේ ප්‍රේමය තීරණය වන්නකි. ඒ අනුව ඇයගේ පිළිතුර වූයේ, 'එවැනි වැස්සක යන්නට නැවතත් එවැනි වැස්සක් එනකන් අපි ඉමු' යන්නයි.  පෙම්වතියගේ උත්සාහය පෙම්වතාව තමා වෙත නතු කරගැනීම වන අතර පෙම්වතාගේ උත්සාහය ඔහු ඇසූ පැනයට පිළිතුරක් ලබා ගැනීමයි. ඒ උත්සාහයන් ද්විත්වයම සාර්ථක වූ නිසා ඔවුන් නැවත මිත්‍ර වන්නට ඇතැයි අපට සිතීමට අවස්ථාවක් ඇත. 

මෙම ගීතය තුළ මුළ මැද අග ගළපන අපූර්ව අරුතක් ව්‍යංග කර ඇත. එය රසික සිතට චිත්තරූපිත වේ. ඇතැමෙක්ට මෙහි අරුත වෙනස් ලෙසකට ව්‍යංග විය හැකිය. මේ මගේ අරුතයි.




                                                                               ස්තුති... 

Nethmi Mahisani ✍