Friday, April 21, 2023

10. ආගන්තුක කුරුල්ලා...

ආගන්තුක කුරුල්ලා - කොහෙන්දෝ ඇවිල්ලා
අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි 
බලාගෙනයි - අම්මා තාත්තා අපේ
දැන් ළඟ ළඟ එයි

උඩ කරනම් බිම් කරනම් - මට පේන්න දෝ ඔතරම්
රාග තාල ගී කිචි බිචි අහවරයක් නෑ
ඒ උනාට නුඹට මගේ ආදරයක් නෑ..

කුරුළු තරුණ පැඟිරි වියේ - ඔය දාංගළේ ඔහොමයි
ඒ උනාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං
මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්..

ගායනය: සුජාතා අත්තනායක 

නව තරුණ වියේ පසුවන්නියකගේ හැඟීම් සමුදායක් කිරිල්ලියක වෙසින් ඉදිරිපත් කරන අපූරු ගීයක් ලෙස, ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා ගීතය පෙන්වාලිය හැකිය. 

ආගන්තුක කුරුල්ලා - කොහෙන්දෝ ඇවිල්ලා
අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි 
බලාගෙනයි - අම්මා තාත්තා අපේ
දැන් ළඟ ළඟ එයි

යොවුන් කුමරියන් සිටින ගෙවල් අභියස ඔවුන් කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙනු රිසියෙන් යෞවනයෝ විවිධ දේ කරති. යෞවනියන් කාගේ කවුද යන්න ඔවුන්ට වැදගත් නොවේ. අවැසි එකම දේ ඇයගේ ආදරය යි. එමනිසා ආගන්තුක අය පවා එවැන්නියක සිටින නිවෙස් අභියස ශිල්ප දැක්වීම සුලභ ය. නිරතුරුවම ඇයව දිනාගැනීම වෙනුවෙන් කටයුතු කරයි. යොවුන් කිරිල්ලිය විසින් 'අඟර දඟර ඇයි?' යනුවෙන් ප්‍රශ්න කළ ද, ඒ සියල්ලම තමාව දිනා ගැනීමට බව දනී. ඒ නිසාම දෝ ඇය ඔහුට අවවාද කරන ආකාරයක් දිස්වේ. 'බලාගෙනයි - අම්මා තාත්තා අපේ දැන් ළඟ ළඟ එයි', යනුවෙන් ඇය පවසනුයේ ඇත්තටම ආගන්තුක කුරුල්ලා කෙරෙහි යම් ඇල්මක් ඇති නිසා දෝ යි සිතේ.

කුමරියකගේ ආදරය ඉල්ලුවද එය දුන්නා හෝ නොදුන්නා හෝ ඔහුව පාවා නොදීමට බොහෝ කුමරියන් මානුෂවාදී වේ.ඒ නිසාම දෝ 'ඔය වැඩ පෙන්නුවාට තව ටිකකින් අම්මලා එයි ඊට කලින් යනන' යනුවෙන් අවවාදාත්මක ආකාරයෙන් ප්‍රකාශනයක් ප්‍රකාශිත බව පෙනේ. ඇයට ඕනෑනම් තම දෙමාපියන්ට යොවුන් කුරුල්ලා හෙවත් ඔහුව පාවා දීමට ඕනෑ තරමින් අවස්ථාව තිබුණි. නමුත් ඇය එසේ නොකර ඔහුව දෙමව්පියන්ගෙන් මගහැරවීමට උත්සාහ කළේ,  ඇයගේ යටි සිතේ පවා ඔහු පිළිබඳ කුමක් හෝ කාරණාවක් ඇති නිසා නොවේ ද? නිතැතින්ම ඇති නිසා ය. එය ආදරය ද අනුකම්පාව ද යන්න නිසැකවම කිව නොහැකි ය. එය අවිනිශ්චිත ය.

උඩ කරනම් බිම් කරනම් - මට පේන්න දෝ ඔතරම්
රාග තාල ගී කිචි බිචි අහවරයක් නෑ
ඒ උනාට නුඹට මගේ ආදරයක් නෑ..

මෙය නූතනත්වයට ගළපන විට දී, මෙසේ දැක්විය හැකිය. නව තාරුණ්‍යයේ පසුවන කුමරුවන් බොහෝවිට තමා ආදරය බලාපොරොත්තුවෙන් සිටින කුමරියන් දිනා ගැනීමට බොහෝ දේ කරයි. ගීත ගායනා කිරීම, යතුරු පැදිය හෝ වාහනය විවිධ අයුරින් ධාවනය කරවීම, විවිධ විලාසිතාවන්ට යොමු වීම ආදිය ඊට නිදසුන් ය. ආගන්තුක කුරුල්ලාගේ ඉහත කොටසේ ඇති ක්‍රියාවන් මා ඉහත සඳහන් කළ දේම රචකයා වේගයෙන් පෙන්වීමට ගත් උත්සාහය අගය කළ යුතුම ය. කුරුල්ලා කිරිල්ලිය ඉදිරියේ ශිල්ප දැක්වුව ද, ඇයගෙන් ආදරය ඉල්ලූ වගක් කතුවරයා පවසා නැත. එය දැක්වූයේ, ඔබ ඔය කෙතරම් වැඩ පෙන්නුවත් නුඹට මගේ ආදරයක් නොමතැයි කියා ය. ඇය එසේ කියනුයේ ආදරය නිසාම දෝ යැයි විටෙක මට සිතේ.

කුරුළු තරුණ පැඟිරි වියේ - ඔය දාංගළේ ඔහොමයි
ඒ උනාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං
මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්..

මෙම කිරිල්ලිය තමන්ගේ සම වයස් අයගේ හැඟීම් මැනවින් හැඳින ගත් බුද්ධිමත් අයෙකු වන බව ගීතය අවසානයේ මෙසේ දැක්වේ. ඇය පසුවන්නේත් කෝඩු තරුණ පැඟිරි වියේම ය. නමුදු ඇයට අන් සම වයස් අයට එහා ගිය චින්තනයක් ඇති වග ගී පද රචකයා පසක් කරයි. හැදිච්චකම පිළිබඳව ද රචකයා කියන්නට උත්සාහ කරන ආකාරය ඉතාමත් යථාර්ථවාදී වේ. හැදිච්චකම යනු තරුණ වියේ හැඟීම් ඉවසා දරා එය බාහිරට නොපෙන්වා සිටීම නේද? යන පැනය මේ තුළින් ගම්‍ය නොවන්නේ ද? 

ඒ වුවත්, හැදිච්ච යැයි සැළකෙන කෙනා මා හැදිච්ච කෙනෙකු යැයි පැවසීම එතරම් ගැළපේ ද යන්න ගැටලුවකි. ආදරය එකෙණෙහි සෘජුවම නො ඉල්ලූ  කෙනෙකුට ආදරය නොදෙනවා යැයි කියන්නේ ආදරය දෙන එකම දෝ යැයි විටෙක සිතේ. මේ ආකාරයට විවිධ අර්ථ රසයන් මවමින් මෙම ගීතය මෙසේ අවසන් වේ.

මෙහි වන සංගීත රසය ද ගීතයේ අර්ථයට උපරිම සාධාරණයක් ඉටුකරන අතර සුජාතා අත්තනායක මහත්මියගේ ගායනය ද අනූපමේය වේ.


                                                                           ස්තුති...

Nethmi Mahisani ✍

09. පුර හඳ ලඟින්ම...

පුර හඳ ලඟින්ම 
කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් 
කෝ ඔබ කොහිද දුර ගියා...

මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැලි සරැලි නගා...
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා...

ලන්ඳ මත පිපී මාලති පරවෙලා ගියා
පින්න පිණි වැටී පුර හඳ බොඳෙවලා ගියා
ඔබ සෞමය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා...

ගායනය: මංගලිකා තෙන්නකෝන්
පද රචනය: දේවිකා ජයසුන්දර
සංගීතය: විමල් දයානන්ද

මංගලිකා තෙන්නකෝන් මහත්මිය ගායනා කරනු ලබන, පුර හඳ ලඟින්ම ගීතයෙහි අරුත මා මෙලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම් වෙමි. එය පෙර ආකාරයක් මෙන් නොවන අතර, පෙරට වඩා ඔබට මෙය දැනේ යැයි මට හැඟේ. ඒ අනුව එහි අරුත මෙසේ ය,  

මා සඳක්, නිකම් සඳක් නොවේ මා පුර සඳක්. මාව පුර සඳක් කළේ ඔබයි. කෙසේ නම් අමතක කරන්න ද ඒ අතීතය. ආදරය මා ඔබෙන් ඉගෙන ගත්තා ද නැතිනම් ඔබ මට ආදරය ඉගැන්නුවා ද කියා හරියටම නොතේරුණත් ඔබේ ආදරය මාව සඳක් කළ බැව් නොකියා ඉන්නේ කෙසේ ද? එනමුත් දැන් ඒ පුර සඳ අභියස කඳුලු බිඳුය. මා පෙරදි සිතුවේ, ඒ ඔබ තබා ගිය කඳුලු කියා ය. එනමුත් පසුව මට පසක් වුණේ, ඒ මමම සෙවූ කඳුළු කියා ය. වෙනදා තරු එළිය අතරින් ඔබව සොයාගැනීම හරිම පහසු ය. නමුත් අද ඒ තරු එළියටත් හොරෙන් ඔබ යන්නට ගිහින්. ළඟ පාතකට නොව. බොහොමයක් දුරට ය. ඔබ මා වෙතින් ඉවතට යන්නට ඔයහැටිම පෙළඹුණේ ඇයි? ද , මට කියන්න.

ඔබම මැවූ සඳ තනි කිරීම එතරම්ම පහසු ද? ඔබත් සමඟ ගත කළ කාලයේ දී, මම ආදරයේ සියුම්ම තැන් පවා දැනගත්තෙමි. ආදරය කියන්නේ මුලු ලෝකයක් බව කියා දුන්නේ ඔබම ය. ඔබේ ඔය ආදර කතා අහන්න මම කෙතරම් නම් ආසද? ඒ බැව් ඔබ නොදන්නවා නොවේ ද? ඔබේ මේ පුර සඳවතිය දුර ආකාසයේ ආඩම්බරව බැබලුනේ හිරු කිරණක් වූ ඔබේ ආලෝකය නිසා නොවේ ද? එයද ඔබට මා නිතරම කියූ දෙයක් නොවේ ද? 

ලන්ද දිගට ලස්සනට පිපී තිබූ මාලතී සියල්ල පරවී ගොස් ය. පිනි බිඳු ද එසේ නොවේ නම් කඳුලු බිඳු දැයි කියා තේරුමක් නැත. කෙසේ වෙතත් ඒ නිසා මේ පුර සඳ බොඳ වී ඇත. ඔබ නොමැති මේ ලොවෙහි කිසිඳු ලස්සනක් නොමැත. ඒ ඔබ තැනූ මිරිඟු ද? නැත්නම්, ඔබ නැති නිසාවෙන් ඒ සියල්ල විනාශ වී ඇත්ද? මේ කිසිවක් මට නොතේරේ. ඔබ මට විඳින්න දුන්න ඒ සෞම්‍ය ආදරය කොහි සැඟවුණි ද? මම තාමත් සොයන්නේ ඒ සඳ ය, ඉදිරියටත් මා ඒ සඳ සොයාවි. යළිත් එය දකින තුරා, අතුරක් නොමැතිවම මා ඒ සඳ සොයාවි. පුරසඳ නැවත තරු එළිය තුළින් දැකීමට මට කෙදිනක හෝ හැකි වේවි. ඒ වන තුරු මම ඒ සඳ සොයාවි.



ස්තුති...

Nethmi Mahisani ✍

08. අන්න බලන් ඉදිකඩ ළග...

අන්න බලන් ඉදිකඩ ළග 
කොක්කු රෑන වගේ ඇවිත්
පුන්චි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...

පුන්චි දුවේ නුඹ යනකොට 
සුදු පාටින් ඉස්කෝලෙට
පුන්චි මගේ අතීතයේ මං තනිවෙනවා...
ලඳු දෙනි මැද දෙවැට දිගේ 
දොළ පාරින් එතෙර වෙලා
මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...

එක පුටුවක වාඩි වෙලා 
එක පැන්සල දෙකට කඩන්
අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...
මං නොදුටුව නව ලෝකය 
කිරුලු පළන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...

ගායනය: දීපිකා ප්‍රියදර්ශනී 
ගී පද: බණ්ඩාර ඇහැලියගොඩ 
සංගීතය: රෝහණ වීරසිංහ 

පාසල් කාලයේ සැබෑ සුන්දරත්වය අපට දැනෙන්නේ පාසල් කාලයේ නිමාවත් සමඟිනි. ඒ නිමාවත් සමඟ නැවත අවුරුදු 13ක පාසල් කාලයේ සුන්දරත්වය විඳීමට, නැවත ඒ මතකයන්හි ජීවත් වීමට මේ ගීය අපව රැගෙන යයි. මවක් තම පුංචි දියණියට, සුදු ගවුමින් සැරසී පාසල් යන තම කුඩා දියණියට ඇගේ පාසල් මතකයන්හි ආවර්ජනයක් මෙසේ සනිටුහන් කරයි. ඇයව එම මතකයන් වෙත කැන්දාගෙන යෑමට ඇගේ පුංචි දියණිය සමත් වේ. 

කොක්කු රෑන සේ සුදු පාටින් පාසල් නිල ඇඳුම ඇදගෙන ඉදිකඩ ළගට වී මේ පුංචි දියණියගේ යහළුවන් ඇය එනතුරු බලා හිඳින බැව් කියයි. මේ සියල්ල දකින විට, මවටත් ඇගේ පාසල් දිවිය මතකයට නැගීම සාමාන්‍ය වේ. මේ අම්මාත් ඇය පාසල් ගිය හැටි සිහිකරන්නේ මෙසේ ය. ලඳු දෙනි මැදින්, දෙවැට දිගේ, දොළ පාරින් එතෙර වෙලා යන ආකාරයෙන් එම පැදි දක්වන විට අපටත් අපේ පාසල් කාලය සිහියට නැඟෙන්නේ නිතැතින් ය.

දැන් අපි ඒ කාලෙට මොනතරම් ආස වුවත්, අපි කාටවත් නැවත ඒ කාලෙට යාමට නොහැකි ය. එනමුත් ඒ මතකයන් ඔස්සේ අපි සැමදා සිතින් පාසල් යයි. ඒ බව මෙහි වන අම්මා පවසන්නේ, එක පැන්සල දෙකට කඩන් අකුරු කෙරුව කාලය ආයෙත් එන්නේ නෑ යනුවෙනි.

ඒත් සමඟම ඇය තම දියණියට පවසන්නේ, ''මන් නොදුටුව නව ලෝකයේ කිරුළ පළන් රැජින වෙලා පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ'' යන්නයි. පාසල් යන දරුවන් සිටිනා සෑම මවකගේම සහ පියෙකුගේම එකම පැතුම මෙය නොවේද? තම දරුවන් තමන්ගේ තත්වයට වඩා උසස් ලෙසින් ජීවත් වනවා දැකීම සියලුම දෙමව්පියන්ගේ ප්‍රාර්ථනය. මෙහි එන අම්මාත්, තමන් නොදුටු ලෝකය දැකීමට තම දියණියට ආශිර්වාද කරයි.

පාසල් කාලය අපේ දිවියට දෙවරක් නොඑන නිසා ඒ කාලයේ සුන්දරත්වය විඳිනවා සේම ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නත් අමතක නොකළ යුතුය.

එසේම, දෙවැට දිගේ - කෙත් වතු මැදින් - දොළ පාරින් එතෙර වී පාසල් යන දරුවා විඳින සුන්දරත්වය උදෑසනින් බස් රියේ සිර වී තෙරපී පාසල් යන දරුවා නම් නොවිඳී. තරඟකාරී ඉගෙනුම් ක්‍රමය පරිසර සුන්දරත්වය, ඊට ආදරය කිරීමට හුරු වීම දරුවන්ගෙන් උදුරා ගැනීමක් සිදු කරයි.

අපටත් වඩා ලස්සන සුන්දර පාසල් කාලයක් අපේ දෙමව්පියන්ට උරුම වන්නට ඇති. මොකද ඔවුන්ට මෙතරම් තරඟකාරී ඉගෙනුම් ක්‍රමයක් තුළින් අපට මෙන් කරදර නොකළ නිසාවෙනි. ඒ කෙසේ නමුත්, අපට උරුම වූ අපගේ පාසල් කාලයත් අතිශය සුන්දර නොවේ ද? 


ස්තුති...

Nethmi Mahisani ✍

Thursday, April 20, 2023

07. ඔබ මා හමුවුන මේ ඉර හඳ යට...

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පර වූ පෙම් මල...
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී...

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි...
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී...

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

බොහෝ අවස්තාවන්වල දී පිරිමින්ට කඳුල යනු මදක් දුර දෙයකි. සැබවින්ම පිරිමිට අඬන්න බැරි වෙලාවට ඔවුන් ආවේගය සිතට ගනී. ඉන් අනතුරුව තරහින් වැඩ කරයි. කඳුළු සලන්නට නොහැකි බව නිසාම ඔවුන් එසේ හැසිරෙයි.

එනමුත්, ඇහෙන් නොහඬන පිරිමි හිතෙන් නොබෝ සෙයින් හඬයි. එය සත්‍යකි. ඇතැම් විට පිරිමි යක්කු වගේ පෙනුනත් හැම යකෙක් තුළම සැඟවුණු මිනිහෙක් ජීවත්ව සිටී.

සොඳුරු මොහොතක මුණගැසුණු අය විටෙක ඈත් වේ. එනමුත් ඒ හමුවීම් අතුරෙන් විටෙක, යම්කිසිවෙකුට මින් පෙර ඇති නොවුන බැඳීමක් ඇති වුවහොත්, ඔවුන් ද අපව දාලා යනවිට ඇතිවන දුක, ඉන් අනතුරුව අපට ඇතිවන අතීතාවර්ජන සමඟ හිතට ගලා එන සංතාපය වචනවලට පරිවර්තනය කළ නොහැකි ය. එසේ නමුත් නැවතත් අවසන් වරට හෝ දැකගන්න ලැබේනම් කියා සිතුවොත්, මේ ගීතය තරම් ඒ ගැන කියන තවත් ගීයක් ඇතැයි මම නොසිතමි.

නන්දා මාලනිය එයට නව අරුතක් ගෙනෙන්නේ මෙසේ ය, 

''ආදරයේ වේදනාව හදට දැනුන යම් දවසක
හුදෙකලාව නොතැවි යළි එන්න මා සොයා...
එන්න මා සොයා...''

අවසන්වරට මෙසේ අපි අපටම සමුදෙන අවස්ථාවක, අපි අපේ මුවින් නොකීවත්, වෙන ලෝකයන්හි තනිවී ඒ ඒ ලෝකයන් තුළ කාර්යබහුල වී සිටියත් යටිසිතෙන් නැගෙන ඉල්ලීමක් පරිද්දෙන් මෙම ගී පදය නිර්මාණය වී ඇත.



ස්තුති...

Nethmi Mahisani ✍

Tuesday, April 18, 2023

06. මගෙ දුවේ ඔබ අවදියෙන් නම්...

මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්...
මේ මිහිරි දේවල් නුබටමයි
 
ඇවිදින්න යන වෙලාවයි
 
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කෙතරම් සුන්දරද
මගෙ දූත් තනියම හිනාවෙයි
 
ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
 
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි

ගායනය - කරුණාරත්ත දිවුල්ගනේ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ 

පියකු විසින් තම දියණිය වෙත කරනු ලබන ආදරණීය ආමන්ත්‍රණයක් ලෙසින් මෙම ගීතයේ අරුත් විකාශිත වේ. පියා තම දියණියට ආමන්ත්‍රණය කරන්නේ, මගෙ දුවේ ලෙසිනි. ඉන් පියා තුළ තම දියණිය කෙරෙහි පවතින්නා වූ අසීමිත සෙනෙහස ධ්වනිත වේ. කලාකරුවා වූ කලී අප සතු නිර්මාණයෙහි ලා උපන් හපන්නු ය යන්න, රත්න ශ්‍රී විජේසිංහයන්ට අතිශයින්ම උචිත ය.

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්...
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්...
මේ මිහිරි දේවල් නුබටමයි

රැයේ සොඳුරුතම මොහොතේ ඇති මිහිරියාව පියා තම දියණියට කියාදෙන්නේ අව්‍යාජ ජන කවියෙකු මෙනි. මේ මොහොතේ සේපාලිකා මල් පවා බිමට බැස ඇත. ඔවුන්ට ඇවිදයන්නට කාගෙන් නම් තහංචිද? නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාව යි මේ, යන්න වූ කලී අපූර්ව කව්‍යොක්තියකි. තාරකාවන්හි සේයාව වැව් දියට වැටී ඇත. ඒ දෙස බලන්නකුට පෙනෙන්නේ වැව් පතුලේ තාරකා ඇති බවකි. කවියා මෙය හඳුන්වන්නේ නිල් තරු කැට වැව් දියට පෙම් බැඳීමක් ලෙසයි. මෙය කෙතරම් රමණීය කාව්‍යයක් නොවන්නෙහි ද? එනයින් බැලූ කළ මෙම විශ්වය වූ කලී මනුෂ්‍යයා ලද සොඳුරතම දායාදයක් බවට කතා නැත.

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
 
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කෙතරම් සුන්දරද
මගෙ දූත් තනියම හිනාවෙයි 

යමෙකු ගණ කළුවරට පෙම් බඳියි නම් ඔහු ඉර හඳට ණයගැති විය යුතුයැයි පියා තම දියණියට පවසයි. එයින් ඔහු තම දියණියට කියන්නේ, ඉර හඳටත් මනුෂ්‍යය අපි කෘතඥ්ඥ විය යුතු බැව් නොවේද? අවසාන පැදිපේළි දෙකෙන් පියා තම දියණියට පමණක් නොව සමස්ථ දරු දැරියන්ටම වටිනා වූ ඔවදනක් ලබාදෙයි. එනම් ඔබ ලොවට ආදරේ නම් මුලු ලොවම ඔබටත් ආදරේ යන්න යි. සැබවින්ම අප ලෝකයාට පෙම් බැඳිය යුතු නොවේද? ලෝකය විනාශ කිරීමට ගිය කල්හි විනාශ වන්නේ ලෝකය පමණක් නොව. අප ද එහි කොටස්කරුවන් වන්නේ ය. එහෙයින් සොබාදහම රැකගැනීම වනාහි අප විසින් අපවම රැකගැනීමක් නොවේ ද? එස් මහින්ද හිමි, ආනන්ද රාජකරුණා කුඩා දරුවන් යොදාගනිමින් ස්වභාවධර්මයේ අගය කියාදුන්නාක් මෙන් රත්න ශ්‍රී විජේසිංහයන් ද  අපට කියාදෙන්නේ සොබාදහමේ අසිරිය යි.

ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
 
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි

මෙම ගීය හරහා සරල බස් වහක් යොදාගත්ත ද ඉන් සමාජයට දෙනු ලබන පණිවිඩය අති මහත් ය.



ස්තුති...

Nethmi Mahisani ✍